පොත් ලැයිස්තුව

10. අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා... (ලොව උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සිටින බව පිළිගැනීම)

star_outline

​"අත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තීති."

​එහි සරල අර්ථය: මෙලොව සහ පරලොව යන උභය ලෝකයම තමන්ගේම විශිෂ්ට ඥානයෙන් (ප්‍රත්‍යක්ෂ ලෙස) අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන, අන් අයට ද එය දේශනා කරන, නිවැරදි මඟට පිළිපන් (සම්මා පටිපන්න) උතුම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් (බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා) ලොව සිටින බව පිළිගැනීමයි.

​බුදුරජාණන් වහන්සේලා ඇති කාලයෙහි ද බුදුරජාණන් වහන්සේලා නැති කාලයෙහි ද මෙම සම්මා දිට්ඨිය නැති පුද්ගලයෝ ලොව තුළ සිටිති. බුද්ධෝත්පාද කාලවල ද අබුද්ධෝත්පාද කාලවලදී ද මෙම සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෝ ද ලොව තුළ සිටිති.

​බුද්ධ කෝලාහලය සහ මහා පුරුෂ ලක්ෂණ:

අට්ඨකථාවන්ට අනුව බුදු කෙනෙක් පහළ වීමට වසර දහසකට පෙර බ්‍රහ්මරාජයෙක් මනුලොවට පැමිණියේය. ඔහු මිනිසුන්ට පෙනෙන සේ අහසින් ඇවිදිමින්, "තව වසර දහසකින් බුදු කෙනෙක් පහළ වෙතැයි" ප්‍රකාශ කළහ. මෙම බ්‍රහ්මරාජයා විසින්ම, බුද්ධත්වයට පත්වෙන තැනැත්තා ඉපදීමෙන් පසුව ඔහුගේ අංග ලක්ෂණ පරීක්ෂා කර බලා බුද්ධත්වයට පත්වන්නේ ද නැද්ද යන්න තේරුම් කරගත හැකි බව ද ප්‍රකාශ කළහ. බුද්ධත්වයට පත් වෙන කෙනෙකුගේ ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන බවත්, ඒවා හඳුනාගන්නා ආකාරයත් ඉගැන්නූහ.

​දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අතරින් දෙබැම මැද්ද විශේෂයෙන් මතකයේ තබා ගත යුතුයි. නළල මැද නොව දෙබැම මැද, ඇහිබැමි දෙක මැද ඌර්ණ රෝම ධාතුව පිහිටයි. එම ඌර්ණ රෝම ධාතුව බුද්ධත්වයට පත්වෙන කෙනෙකුගේ දක්ෂිණාවර්තව (දකුණට) කැරකැවී ඇත. සක්විති රජ වන කෙනෙකුගේ එය වම් අතට (වාමාවර්තව) කරකැවී ඇත. ඒ අනුව මේ පුරුෂ ලක්ෂණ ඇති තැනැත්තා සක්විති රජ වන්නේ ද බුද්ධත්වයට පත්වන්නේ ද කියා නිශ්චිතව තේරුම් ගත හැකි බව ද ඉගැන්නූහ. එකල සිටි බ්‍රාහ්මණවරු එම ඉගැන්වීම් තමන්ගේ වේද ග්‍රන්ථවල ඇතුළත් කළහ. මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව බ්‍රාහ්මණවරු ඉගෙන ගත්හ.

​නම් තැබීමේ මංගල්‍යය සහ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයාගේ තීරණය:

සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ ලොව පහළ වීමෙන් පසුව ද අංග ලක්ෂණ පරීක්ෂා කරන ලද රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බ්‍රාහ්මණවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දුටුවහ. ඔවුන් අතරින් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා හැර අන් සියලු දෙනාගේ තීරණය වූයේ, සිදුහත් බෝසතුන් සක්විති රජ පදවිය හෝ බුද්ධත්වය ලබන බවයි (ඇඟිලි දෙකක් එසවීමෙන්). කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමන් පමණක් ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත්වන බවට, ඌර්ණ රෝම ධාතුවේ විස්තරය ඉදිරිපත් කරමින් පැහැදිලි කළහ (එක් ඇඟිල්ලක් එසවීමෙන්).

​සක්විති රාජ පදවිය ලැබුවත්, බුද්ධ රාජ්‍යය ලැබුවත් ලොවට යහපතක් (අර්ථයක්) සිදුකරනවා යන අර්ථයෙන් "සිද්ධාර්ථ" යන නම තැබූහ. මෙයින් පැහැදිලි වන්නේ බුදු කෙනෙකු ලෝකයේ පහළ වනවා යන උතුම් වූ අදහස අබුද්ධෝත්පාද කාලවලදී පවා සමහර මිනිසුන් විශ්වාස කළ බවයි.